සතෙන් සතේ


"අම්මේ මගේ පැන්සලේ දැක්කද?"

"මන් දැක්කා පොඩි එකී අතේ තියන් ඉන්නවා අහපන් ඒකිගෙන්"

"නංගී මගේ පැන්සල ගත්තද?"

"ඔව් අයියේ අනේ මටත් ඒ ජාතියෙ එකක ගෙනත් දෙන්නකෝ..."

උදේ පාන්දර ඉර නැගඑනවාත් සමග සිරිමල්ගේ නිවස එක කලබල කෝටියකින් යුක්තවිය.ඒ වෙන මුකුත් නිසා නොව පාසල් යාමට පාන්දරම නැගිටගත් සිරිමල් හා ඇයගේ කුඩා නැගනිය තමන්ගේ බඩුභාහිරාදිය සොයනා නිසාවෙනි..

ගම්මැද්දේ පිහිටි කුඩා වෙල් යායකට යාබදව නිස්කලන්ක වටපිටාවකින් වටවූ කටුමැටි ගෑ පොල් අතු හෙවූ පුංචි නිවසකි.ඒ සිරිමල්ගේ නිවසයි.ගෙවිතැනින් ජීවත් වූ ඔවුන්ගේ ජීවෝනාපය වූයේ හේන් ගොවිතැනය.

"පුතේ අද ඉස්කෝලේ ගිහින් ඉක්මන්ට වරෙන්."

"ඒ මොකද තාත්තේ?"

"අද ගොයම් ටික කපනවා.හැන්දෑකරේ ඇවිල්ලා ගොයම් ටික එකතුකරන්න උදව් වෙයන්.නැත්නම් ගොම්මන් වෙන්න කලින් ගොයම් කොලේ එකතුකරගන්න බැරි වෙනවා."

"හා තාත්තේ.."

"අවුරුද්දත් ළග ළගම එනවා..පන්සලේ හාමුදුරුවන්ට අලුත් හාල් ටිකක් ගෙනිහින් දෙන්නත් ඕනේ අලුත් අවුරුද්දට." සිරිමල්ගේ තාත්තා කියන්නට විය.

"නංගී ලෑස්තිවෙලා ඉවරයිද ඉක්මන්ට යමු පරක්කු වෙනවා."

පරන රබර් සෙරප්පු දෙක පයලාගමින් හනි හනිකට සිරිමල් සහ නංගී නිවසට වැටී තිබූ අඩිපාර දිගේ පාසල් යාමට පිටත්විය.පාසලට ලගා වූ සිරිමල් නංගී ඇය ඉගෙනුම ලබන පන්ති කාබරයට ඇරලවා සිරිමල් ඉගෙනුම ලැබූ පන්ති කාබරය වෙත පියවර තැබුවේය.

"ආ සිරිමල් අද ටිකක් පරක්කුයි වගේ." සරිමල්ගේ මිතුරෙකු වූ සුසිරිපාල සිරිමල්ගේ කරට අත දාගනිමින් කියන්නට විය.

"ඒක නෙමේ සිරිමල් අවුරුද්ද ලගයි නේ අලුත් ඇදුම් එහෙම හම්බුනාද.?"

"තවම නෑ සුසිරිපාල."

"අපේ තාත්තනම් මට අලුතින් කලිසමකුයි කමීසෙකුයි ගෙනත් තිබුනා."
රජයේ කන්තෝරුවක සේවකයකුගේ පුතෙකු වූ සුසිරිපාල එසේ කියාසිටියේ මහත් ආඩම්බරයෙනි.

"තාත්තා මට අහස්කූරු පෙට්ටියක්ම ගෙනත් දුන්නා."
සුසිරිපාලගේ ආඩම්බර කතාව අසාසිටි සිරිමල්ගේ හිතට දැනුනේ සතුටක් සමග එකතුවූ දුක්මුසු කමක්ය.සිරිමල්ගේ පවුලේ හතර දෙනා යන්තමින් එදාවේල ගැටගහගත්තේ හේන්ගොවිතැනින් ලැබෙන්නා වූ තුට්ටුවෙන්ය.ඔහුට කිසිදු දිනක අවුරුද්දට අලුත් ඇදුම් ලැබුනේ නැත.අහස්කූරු අරන්දීමට තරම් සිරිමල්ගේ පියා සතුව මුදල් නොතිබ්බේය.

"අනේ මටත් අහස්කූරක් දෙන්නකො.... ඔයාට පෙට්ටියක්ම හම්බුනානේ."සිරිමල් බැගෑපත්කමින් සුසිරිපාලගෙන් අහස්කූරක් ඉල්ලන්නට විය.

"අපෝ බෑ අපේ තාත්තා මාව මරයි."

බිම බලාගත් සිරිමල් එම ස්ථානයෙන් නික්මුනේ කදුලු පිරුනු දෙනතින්ය.
අනේ මටත් අහස්කූරක් පත්තු කරන්න තියෙන්නම්..සිරිමල් සිතන්නට විය.පාසල් කාලය නිමාවීමෙන් පසු නංගී සමග ඉක්මනින් නිවෙස බලා පිටත් වූ සිරිමල්ට සිහියට නැගුනේ සුසිරිපාල කියූ අහස්කූරු ගැනය.කඩමන්ඩියට ලගා වූ සිරිමල්,.

"නංගී පොඩ්ඩක් ඔහොම ඉන්න මන් ඉක්මන්ට කඩේට දුවලා එන්නම්."

"මුදලාලි මාමේ අහස්කූරු තියෙනවද?"

"ඔවු කොලුවෝ"

"කීයක් වෙනවද?"

"අහසකූරු පෙට්ටියම රුපියල් සීයක් වෙනවා."

"එතකොට එක අහස්කූරක් කීයක් වෙනවද මාමේ.?"

"එකක් රුපියල් පහයි."

"උබට එකක් ඕනෙද?"

"මන් පස්සේ වෙලාවක එන්නම් මාමේ"

කඩමන්ඩියෙන් නික්මුනු සිරිමල් නිවසට ගොස් අම්මා බෙදා දුන් බත්පිගානද රසබලා කුඹුරට දිව්වේ තාත්තාට උදව් වීමටය.කුඹුරේ රාජකාරි බොහොමය.තැනින් තැන ගොඩ ගසා ඇති ගොයම් මිටි සිරිමල් එකින් එක එකතුකර හිස්මුදුනට ගෙන ගොයම් කොළය දක්වා ගෙනැවිත් ගොඩගසන්නට විය.දහඩිය පහිමින් ගිනි අව්වේ ගොයම් මිටි එකතුකරනගමන් ඔහු සිතුවේ අවුරුද්දට ප්‍රතමයෙන් අහස්කූරු පෙට්ටියක් ගැනීමටය..

කුඹුරේ වැඩ අවසන් වීමෙන් පසුව හවස්යාමයේ නිවසට පැමිණි සිරිමල් එළියේ තිබූ කුඩා බංකුව මතට වී බත් පිගාලද අතැතිව කල්පනා කරේ අහස්කූරු ගැනය.

"ඒ කොලුවො මොනවද බන් උබ ඔයි හැටි අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ.?"
එකවරම නිහැඩියාව බිදිමින් සිරිමල්ගේ මව අසන්නට විය.

"තාත්තේ මට රුපියල් සීයක් දෙන්න පුලුවන්ද?"

"උබට පිස්සුද ?... කොහේ තියෙන සල්ලිද බන්.ඇරත් මොකටද උබට රුපියල් සීයක්..? "

"අහස්කූරු පෙට්ටියක් ගන්න තාත්තේ"

"උබට දෙයියන්ගෙ හාල් කැවිලද...?අපිට මොකටද අහස්කූරු.මේ එදාවේල හම්බකරගන්නෙත් හරි අමාරුවෙන්..උබ අහස්කූරු පත්තු කරන්න දොඩනවා..ඔන්න ඔය බත්ටික කාලා නිදාගනින්..."

තාත්තාගේ වචන ටිකෙන් කනස්සල්ලට පත් සිරිමල් බත් පිගාන අතගාමින් බොහෝ වේලාවක් සිටින්නට විය.බත් කෑම පසෙකලා ඔහු කල්පනා කරේ අහස්කූරු ගැනය.කෑම කා අවසන් වූ සිරිමල් පැදුරට වී බොහෝ වේලා කල්පනා කරන්නට විය.අවුරුද්ද ලැබීමට තවත් ඇත්තේ සතියක කාලයක් පමණි.

පසුදින පාන්දරම අවදි වූ සිරිමල් පුරුදු දිනචර්යාව ආරම්භ කලේය.දින එක දෙක ගෙවී ගියේ ඔහුටත් නොදැනීමය.සිත තුල කකියන දැඩි ආශාවෙන් ඔහු ඇගිලි ගැන්නේය.නමුත් අහස් කූරු ගැනීම සදහා ඔහු අතැතිව මුදල් නොතිබ්බේය.සෑම දිනම පාසල් නිමාවී ගෙදර පැමිණෙන අතරමගදී කඩමන්ඩියට ගොඩ වී අහස්කූරු පෙට්ටිය දිහා මදක් බලා සිට පැමිණිම ඔහුගේ දින චර්යවට එකතු වූ අලුත් ක්‍රියාකාරකමක් වූයේ ඔහුටත් නොදැනීමය.

පුංචි හිත් මල් වගේ ඒ පුංචි හිත්වල තිබෙන ආසාවල් ඉශ්ඨ කරගන්න පොඩ්ඩන් කොයිතරම් ආසා කරනවා ඇත්ද.සිරිමලුත් හිතේ තිබූ ආසාව තද කරන් සිටියේ කෙසේ හෝ ඉටුකරගැනීමටය.ලග ලගම එන අවුරුද්දට ඇත්තේ තව දින දෙකක් පමනි.කැවුම් කොකිස් කුස්සියේ තාච්චියේ බැදෙද්දී සිරිමල්ගේ නංගී දිනක් ඔහුගෙන් මෙසේ අසන්නට විය.

"අයියේ මොනවද ඔයා හැමදාම කඩමන්ඩියේදී බලන්නේ...?"

"අහස්කූරු පෙට්ටියක් නංගී"

"අනේ මටත් ආසයි අයියේ..."

"ඒ වුනාට කොහේ තියෙන සල්ලිද නංගී අපිට ඒවා ගන්න..මාත් හරි ආසයි."

"ඉතින් ඒවා සෑහෙන්න මිළයිද අයියේ.?"

"මුදලාලි මාමා කිව්වා පෙට්ටියම රුපියල් සීයයි එක අහස්කූරක් රුපියල් පහක් වෙනවා කියලා."
එකවරම ගෙට දිවගිය සිරිමල්ගේ නැගනිය පුංචි පොල්කටු වලින් සෑදූ කැටයක් ගෙනැවිත් සිරිමල්ගේ අත තැබුවේය.එය පොල් ගෙඩියක් සිදුරුකර මදය ඉවත් කර අලංකාරවත් අයුරින් සැකසූ පුංචි කැටයක් විය.කැටය වටා පාට පැස්ටල් වලින් ඇදි පුංචි ඉරි මගින් රටා මවමින් එය තවත් අලංකාරවත් කරන්නට විය.

"මේක කොහෙන්ද නංගී ඔයාට?.."

"මන් ඕක තාත්තට කියලා හදාගත්තේ.අයියා ඕක ගන්න.ඔයාට සල්ලි තියෙන කාලෙක මට ආපහු දෙන්න."...ඇය සිනා මුසු මුහුනින් පවසන්නට විය.

සිරිමල්ගේ මුවට නැගුනේ ඉහවහා යන සතුටක් ඇති සිනහවකි.ඒත් සමගම ඔහුගේ ඇසට කදුලක් ඉනුවේ තම නැගනිය තමන් වෙනුවෙන් කළ දේ නිසාවෙනි.

"අයියේ... ඉතින් ඉක්මනට ඕක කඩන්නකෝ."
සිරිමල්ගේ නැගනිය මැටි ගෑ බිම වාඩිවෙමින් කියාසිටියේය.

එකවරම සරාස් ගා සද්දයද සමගින් සිරිමල් කැටස මැටි පොළවේ ගස බිද දැමුවේය.දෙදෙනාගේ මුවේම තිබුනේ පුදුමාකාර සතුටකි.බිම වාඩි වූ සිරිමල් නැගනියද සමග කැටයේ තිබූ කාසි ගනන් කරන්නට විය.රුපියල දෙක සත පනහේ සත විසිපහේ කාසි වලට වඩා වටිනාකමෙන් වැඩි කාසි එහි නොතිබ්බේය.අවසානයේ එහි තිබුයේ රුපියල් විසිදෙකක මුදලක් පමණි.

"ඔතන තියෙන සල්ලි ඇති නේද අයියේ....?"

සිරිමල්ට තම නැගනියගේ මුවේ තිබූ සිනහව නැති කිරීමට දුක සිතුනි.ඇය තමන් වෙනුවෙන් කර දේත් ඇයගේ සිනහ මුසු මුහුනත් දෙස බලමින් ඔහු කියාසිටියේ,
"ඔව් නංගී ඇති මට රුපියල් දහයක් තිබුනම හොදටම ඇති.අපි අලුත් කැටයක් හදල ඉතුරු සල්ලි ටික ඒකට දාමු."

හෙටින් පටන් ගන්නේ අවුරුදු පාසල් නිවාඩු සමයය.අනිද්දා අලුත් අවුරුද්දය.සිරිමල් ඇගිලි ගැන්නේ ඒ අවුරුදු දවස ඉක්මනින් උදාවනු දැකීමටය.පසුදින උදෑසනම අවදි වූ සිරිමල් පරන පොල්ගෙඩියක් සොයා එය හොදින සුද්ද කර නන්ගී වෙනුවෙන් අලුත් කැටයක් සාදාන්නට විය..පාට පැස්ටල් කැබලි දෙක තුනකින් පෙර තිබුනා සේම කැටය අලංකාරවන ලෙස රටා ඇදි සිරිමල් වැඩ නිමා වූ කැටය නන්ගීගේ අත තබා,
"නන්ගී මේ ඉතුරු කාසි ඔක්කොම ටික කැටේට දාලා එන්න යන්න මාත් එක්ක කඩමන්ඩියට".. යැයි පැවසීය.

ඉහවහා ගිය සතුටින් සිරිමල්ගේ නැගනිය කාසි කැටයට දමා සිරිමල් සමග කඩමන්ඩියට දුවන්නට විය.

"ඒයි... කොහෙද කොලුවෝ උබ ඔයි නන්ගි එක්ක ගාල කඩාගත් හරකා වගේ දුවන්නේ..?"

"කඩමන්ඩියට අම්මේ,.. මන් ගියපයින්ම ආපහු එනවා ඉක්මනට."

"අනේ මන්දන්නෑ උබට මොන යක්ෂයා අරූඩ වෙලාද කියලා.යනතැනක පරිස්සමින් ගිහින් වරෙන් පොඩි එකී එක්ක.."

ඉක්මනින් ඉක්මනින් කඩමන්ඩියට ඇදුනු සිරිමල් සහ ඔහුගේ නැගනිය කඩයට ගොස් අහස්කූරු දෙකක් මිලදී ගන්නට විය.එයද රැගෙන වෙල්යාය දිගේ හිනැහෙමින් සතුටින් නිවසට පැමිනියේ හෙට දින උදාවන අලුත් අවුරුද්දේ රාත්‍රියේදී අහස්කූරු පත්තු කිරීමේ බලාපොරොත්තුවෙනි..

 කැවුන් කෙසල් ගෙයි මුල්ලේ හිනැහෙදී අවුරුදු දා සිරිමල් සහ නැගනිය සිනාසුනේ කවදාවක් අත්නොවිදි අත්දැකීමක් ඔවුන් පළමුවරට අත්දැකින බැවිනි.අහස උසට නැගයන මිනිසුන්ගේ බලාපොරොත්තු හා ආශාවන් අතරේ පුංචි සිත් දෙක තුළ තිබූ එකම අහින්සක ආසාව ඉටුකරගන්නා මොහොත උදාවන්නට විය.

තාත්තා අම්මා සහ නංගී සමග වෙල්යාය අසලට පැමිණි සිරිමල් එක් අහස්කූරක් නංගී අත තැබුවේය.කුස්සියට දිවගොස් ගිනිපෙල්ලක් රැගෙන ආ සිරිමල් අහස්කූර දල්වා අහසදෙස බලා සිටියේ මහත් සතුටෙනි.

"අයියේ මේකත් පත්තු කරන්න.."

"ඕක මන් ගත්තේ නංගිට"

"කමක් නෑ අයියා මේකත් පත්තු කරන්නකෝ.."


නංගී අත තිබූ අහස්කූර දල්වන විට සිරිමල්ගේ නැගනිය එය වෙනුවෙන් ඇයගේ පුංචි අත්පොඩිවලින් අත්පොඩි ගසමින් උඩ පනින්නට විය.ඇයගේ දෝරේ ගලායන සහෝදරකම සමග මුසුවූ සතුට අවුරුද්ත් සමග එකතු වූයේ ඔවුන්ගේ තවත් එක් සතුටින්පිරි මොහොතක් ගෙවා දමමින්ය..


සමාප්තයි..

කතාව ලිව්වේ ගුණේ


අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කළ හැක.

Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment