කැකෑරෙන හීන - Dreams


ඒක හිත ඇතුලේ කැකෑරෙන හීනයක්. ගිනිකන්දක් පිපිරිලා වගේ කොයි වෙලාවක එළියට එයිද කියලා මටවත් හිතාගන්න බැරි තරම්. ගුරු පත්වීමක් අරගෙන ඈත පිටිසර ගමක ඉස්කෝලෙකට ගිහින් ඒකෙ ඉන්න පොඩි එකාලට අකුරු කරවන්න ඇත්නම්. හැමතිස්සෙම හිතනවා... සුදු ඇදගනිපු හරියට සපත්තු දෙකක්වත් පයට නැති ඒත් කප්පරක් හීන ගොඩක් හිතේ තියන් ඉගෙනගන්න ආසාවෙන් බලන් ඉන්න පොඩි එවුන් ටිකක් වට කරගෙන දවසෙන් බාගයක් විතර ගෙවන්න ඇත්නම්. උන් වෙනුවෙන් වියදම් කරන්න සල්ලිනම් නෑ මා ගාව. ඒත් උන්ට අකුරක් කියාදෙන්න පුලුවන්නේ.

හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියනවලු. ඒත් ඒ කතාවේ මොකක් හරි කොස්සක් තියෙනවා. හතර වසරෙදි දවසක් පන්තිභාර ගුරුතුමී මට පන්තිය ඉස්සරහට කතා කරනවා.
මොනවද මේ ලියලා තියෙන්නේ. එක අකුරක්වත් කියවන්න බැහැ. අකුරුවල කැත බලනවා. මේවා කාටද කියවන්න පුලුවන්. ආයෙ මගේ ගාවට පොත අරන් එන්න එපා" කියලා මුලු පන්ති කාබරේටම ඇහෙන්න මට බැනලා මගේ පොත පැත්තකට විසික් කරනවා. ඒ වාරේ මම පන්තියේ හතරවෙනියා වුනා. බෙස්ට් ක්ලාස් එකේ හතර වෙනියා වෙනවා කියනනේ ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි පහේ පන්තියේ ශිෂ්‍යත්වේනම් මම ෆේල්. ළගින් හිටපු ඔක්කොම යාලුවෝ වෙන වෙන ඉස්කෝල වලට ගියා.


ඒ කාලේ ඉදන්ම දඩබ්බරෙකම් වලට මුලු ඉස්කෝලෙම මාව ප්‍රසිද්ධයි. ඒත් සර්ලා මිස්ලා මට පුදුම විදියට ආදරෙන් සැලකුවා. මොනතරම් දග වැඩ කළත් මම හිනා වුනාම මිස්ලා මට හරිම ආදරෙන් සැලකුවා. ඒක මගේ කපටි කමක්ද මන්දා. ඊටත් වඩා හේතුවක් වුනේ කොල්ලා ටිකක් දක්ෂයා. අහම්බෙන් වගේ මේ ළගදී දවසක් බණ ගෙදරකදි නංගි කෙනෙක් හම්බෙලා කතා කරනවා . අපේ දුරින් නෑ වෙන කෙනෙක් කියලයි අම්මනම් කිව්වේ, ඒත් හරියටම එදයි නෑයෝ කියල අදුනගත්තේ. මට මතකයි මම ඉස්කෝලේ යන කාලේ ඒ කෙල්ල හරි පොඩියි. ආ අයියේ ඉතින් කොහොමද ? දැන් මොකද කරන්නේ අයියා අපේ ඉස්කෝලේ නේද ගියේ? " “නංගිට මාව මතකයිද?" "අපෝ.. මොකද මතක නැත්තේ අයියා ඒ කාලේ ඉස්කෝලේ සෑහෙන්න ප්‍රසිද්ධයිනේ...." මට මන් ගැනම පොඩි ආඩම්බරයක් ඇතිවුනා ඒ වෙලාවෙනම්.  "ඒ තරම්ම මම දගයිද? " ඒ වෙලාවේ මම මගෙන්ම අහගත්තා.


අපොයි !! ඉස්කෝල වල පොඩිවුන් දඩබ්බරයි දගයි තමයි. අපේ කාලෙත් අපි දඩබ්බරයි.. එහෙම උනේ නැත්නම් ඒ කාලෙන් වැඩක් ඇත්තෙත් නෑ. එතකොටම මතක් වෙන්නේ ඉස්කොලේ කාලේ ප්‍රින්සිපල්ගෙන් පලු යන්න ගුටි කාපු හැටි. පස්ස පැත්ත හරවලා බිත්තියට හේත්තු වෙයන් කියලා වේවැල් මිටියම අරගෙන පස්ස රත්වෙනකන් ගුටි කෑව හැටි. බිත්තිය අල්ලගෙන වෙව්ල වෙව්ල ගුටිකාපු හැටි අදටත් මතකයි. සති දෙකක් පන්ති තහනම්, ඒ නම් සාපෙළ ලියන්න ඔන්න මෙන්න තියෙද්දී. ඒ කාලේ තමයි සුන්දරම කාලේ. මට එයාව හම්බුනෙත් ඒ කාලේ. පොඩි කමටද.. සාපෙළ ලියද්දිම කෙල්ලෙක්ගෙන් වචනේ ගන්න කොල්ලා දක්ෂයා වුනා. නෑ ඒ කතාව අපි කතා නොකර ඉමු. රිදිලා රිදිලා හොද වුනු තුවාල ආයෙ මොකටද පාරගන්නේ. 


 ඇයි එතකොට ඉස්කෝලේ ඩෙන්ටල් එක ළග තැඹිලි ගහ. අපෝ ඒකේ ගොබොල්ලක් වත් ඉතුරු වෙන්නේ නෑ මලෙන් එළියට එනකොට ගහට නැගලා ගෙඩි ටික කඩන් බොනවා. දවසක් එකෙක් ගහ උඩ ඉද්දී ඉස්කෝලේ වයිස් ප්‍රින්සිපල් එනවා. මොනවා කරන්නද අරූ ගහ මුදුනේ ඉද්දී අපි දිව්වා. ඒකා හොදට ගුටි කාලා පන්තියට ආවම ඇපි නෙමෙයි හාක් හූවක් තියා මොකද උනේ කියලවත් උගෙන ඇහුවේ. ඒ නවය පන්තියේදී.


කොයිතරම්නම් මතකයන් හිත ඇතුලේ තැන් තැන්වල විසිරිලා ඇත්ද?.. අනේ ආයෙම ඉස්කෝලෙට යන්න ඇත්නම්. ඒත දැන් ඉගෙනගන්න යන්නනම් බෑ ඒත් ගුරු පත්වීමක් හදාගත්තොත් උගන්නන්න යන්න පුලුවන්නේ..කැකෑරෙන ඒ ආසාව යටපත් කරන්නේ මගේ හිතමයි කියලා දැනෙනකොට මට මාත් එක්කම කේන්තියක් එනවා.. නෑ මම කොහොම හරි උපාධිය ඉවර වෙලා ගුරු පත්වීමක් හදාගෙන ඈත පිටිසර ගමක පොඩි උන් ටිකක් වටකරගෙන උන්ට අකුරු කියාදෙනවා. "

උබට පිස්සුද උගන්නලා හම්බෙන සොච්චම් පඩියෙන් උබ හිතන්නේ උබට ජීවත් වෙන්න පුලුවන් කියලද. මෝඩ වැඩ කරන්නේ නැතුව කොළඹට වෙලා ජොබ් එකක් කරගෙන හිටපන්"  හිත ඇතුලෙන් කවුදෝ එකෙක් කෑ ගහනවා.


අදහස් හා යෝජනා පහළින් කමෙන්ට් කරන්න.
පහළින් ඇති Facebook Comment ඔස්සේ ඔබට සෘජුවම ෆේස්බුක් හරහා ලොග් වීමෙන් කමෙන්ට් කළ හැක.

Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment