පුලුවන්ද කියලා ඇහුවම ඇහැකි කිව්වලු


කැම්පස් ආපු මුල්ම දවස් වල දවසක් කාර් එකක් නවත්තලා අහනවා මල්ලී මෙතනින් මේන් රෝඩ් එකට යන්න පුලුවන්ද? " කියලා. ගත් කටටම මම කියාපි ඇහැකි ඇහැකි" කියලා. කාර් එකේ හිටපු උන් ටික තබ්බීරිවෙලා වගේ මූණට මූන බලාගත්තා. එතකොටම මාත් එක ළග හිටපු එකා හීනියට මාව කොනිත්තුවා. පස්සෙයි මට තේරුනේ මොකක්ද කියලා. අපේ පුලුවන් කියලා වචනයක් නෑ ඕන ඒකට ඇහැකිතමයි කියන්නේ. ඔව් ටිකක් වෙනස් තමයි ඔයි කියන කෙහෙල් මොටෙයියෝ සීනි කුරුල්ලෝ එහෙමනම් ගාල්ල පැත්තේ ඇත්තේ නෑ.
හැබැයි අපිට තියෙනවා අපේම වචන සෙට් එකක්. අදටත් ගෙදර ගියාම පාවිච්චි වෙන්නේ ඒ වචන සෙට් එක තමයි.  😊


කෙසෙල් මුව නොකිව්වට අපි කියනවා වතු මුහ කියලා.හවසට චූන් පාන් එනකොට දුවල ගිහින් අපි ඉල්ලන්නේ සීනි කුරුල්ලෝ නෙමෙයි.කිඔුලා බනිස්, වියාන් රොල් කියලයි. වෙන උන් කන බොම්බයි මොටයි එක සීනි පොල්කොහු වෙන්නෙත් දකුණට ගියාම තමයි. පොඩි කාලේනම් තියෙන ගොන්කමට තාත්තගෙන් අහලා තියෙනවා තාත්තේ පොල් ඔයලා එන පොල් කොහු වලට සීනි දැම්මමද සීනි පොල්කොහු එන්නේ කියලා.. අඹ "ඹ" යන්න ගැන දන්න උන් පොල් ඔයන්න ගැන දැනගන්නෙත් දකුණට ආවම තමයි. අපේ මිනිස්සු පොල් ලෙලි ගහන්නේ නෑ පොල් ඔයනවා.  😊

ඕන එකක් කිව්වට පස්සේ හරියකියලා කියන්නත් අපි අමතක කරන්නේ නෑ. වෙන උන් කන පැණි කොමඩු කෑවට අපිනම් කන්නෙම පත්තක්කා. දිවුල් වෙනුවට අපට තියෙනවා ජූල්. ජූල් ගෙඩි දෙක තුනක් මිරිකලා හොදට සීනි ටිකක් දාලා ඕකට බත් හිච්චකට කලවම් කරගත්තම තියෙන රහනම් ආයෙ දිව්‍ය ලෝකෙත් නැහැ. ලංකාවේ හොදම මී කිරි තියෙන්නෙත් දකුණෙම තමයි. ඒත් ගාල්ලෙනම් හොදම මී කිරි තියෙනවා කියන්නේ #ගෝනපුර කියන ගමේ. ඒ අපේ ගමට අල්ලපු ගම. මී කිරි ටිකකට බත් ටිකක් කලවම් කරලා සීනි ඩිංගක් දාගෙන කන්න දකුණේ උන්දලා මල පෙරේතයි. (මමත් එහෙමයි)  😍
කෑවයි බීවයි මොකටෙයි වගේ වචන අපි හැමතිස්සෙම පාවිච්චි කළාට දැන්නම් හීනියට හිත කෙනෙන් කොනිත්තන් යනවා මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ඒ නිසාම වෙන්න ඇති ගෙදර කවුරු හරි ඇහැකිද (පුලුවන්ද) කියලා ඇහුවම දැන් නිකන්ම කටට එනවා නෑ.. කනකි" කියලා. කාට හරි කියන්න පුලුවන් ගොඩේ එකාලා කොළඹට ඇවිත් දැන් පොෂ් වෙලා කියලා. අපො නෑ කොළඹටනම් කිසිම ආසාවක් නැහැ. ගදගහන දුම් පිරුණු නගර වගේ නෙමෙයි ගෙදර ගියාම හිතට දැනෙන නිදහස.

අදටත් ගෙදර ගියාම පැය 24න් නිදාගන්න පැය ටික අයින් කරාම මොනවම හරි කන එක තමයි කරන්නේ. මොකද අම්මා ඒ තරමට අපිට ආදරේ නිසා. ඒ ආදරේ විදින්න ඉතින් ගෙදරම යන්න ඕනේ. පුංචිකාලේ මතකයන් පිරුණු ඒ ලෝකෙට තමයි ඉතින් අදටත් ආදරේ කරන්නේ  😍 😊



Share on Google Plus

About ගුණේ

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment